1975 අංක 39 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනත ක්‍රියාත්මක කිරීමත් සමඟ එවකට පුද්ගලික අයිතියක්ව තිබූ මහබේරියතැන්න ගොවිපල ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට පවරා දෙන ලදී. මෙම ඉඩම 1976 දී ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට පවරා දෙන ලදී. කඩිනම් මහවැලි ව්‍යාපෘතියත් සමඟ වික්ටෝරියා ජලාශය සඳහා ආසන්න වශයෙන් හෙක්ටයාර 243 ක් පමණ ඉඩම් ප්‍රමාණයක් ජලයෙන් යට විය. ඉතිරි ප්‍රමාණයෙන් තවත් හෙක්ටයාර 209 ක් දිගු කාලීන බදු පදනම මත ගොල්ෆ් ක්ලබ් එකක් සඳහා ලබා දුන් අතර හෙක්ටයාර 29.1ක් මැදරට පශු සම්පත් සංවර්ධන මධ්‍යස්ථානයට ලබා දෙන ලදී. ඒ අනුව හෙක්ටයාර 175ක් පමණක් මහබේරියතැන්න ගොවිපල සඳහා ඉතිරි වුයේය.
මෙම ප්‍රදේශයේ පස රතු දුඹුරු ලැටොසොලික් පස සහ නොමේරූ දුඹුරු ලෝම වර්ගයට අයත් වේ. පාංශු ප්‍රතික්‍රියා සාමාන්යායෙන් මධ්‍යස්ථ වශයෙන් ආම්ලික වේ. පසේ අඩංගු කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය සහ නයිට්රජන් ප්‍රමාණය මධ්‍යස්ථ අගයක සිට අඩු අගයක් අතර පවතී. පොස්පරස් අඩු මට්ටමක පවතී. පොටෑසියම් ප්‍රමාණය තරමක් අඩු මට්ටමක සිට මධ්‍යස්ථ මට්ටම දක්වා වෙනස් වේ. මෙම පසේ කැල්සියම් සහ මැග්නීසියම් සැපයීම සාමාන්‍යයෙන් හොඳින් සිදුවන බැවින් හොඳ කැටායන හුවමාරු හැකියාවක් ඇත. පසේ සාරවත් බව සාමාන්‍යයෙන් හොද වේ. භෞතික ගුණාංග වන සාරවත් බව, ගැඹුර, පාංශු වයනය සහ ජලාපවහනය ඉතාමත් හොඳ මට්ටමක පවතී. මෙම පසෙහි ව්‍යුහාත්මක ස්ථාවරත්වයක් ඇත. මෙම ගොවිපල ආසන්න වශයෙන් මීටර් 650 ක උන්නතාංශයක පිහිටා ඇති අතර භූ විෂමතාව අනුව පැතලි පටු නිම්නවල කඳු බෑවුම් හා රළු කඳු දක්වා විහිදී යයි. වර්ෂාපතනය උඩරට ප්‍රදේශවලට වඩා හාත්පසින්ම වෙනස් වන අතර සාපේක්ෂව අඩු වර්ෂාපතනයක් ලැබේ.